Saturday, July 27, 2019

වම්බටු, දළඹුවෝ සමග කොළ රොඩු මගින් වල් පාලනය


         දැන් කියන්න යන්නේ මගේ වම්බටු පාත්තිය ගැන. හැබැයි මම හිටවලා තියෙන්නේ දෙමුහුම් (Hybrid)  වර්ගයක වම්බටු ජාතියක්. ඒ නිසා ඒ හැදෙන වම්බටු වල බීජ වලින් නැවතත් පැල ලබාගන්න බෑ කියලා තමයි මම වම්බටු බීජ ගත්ත කඩෙන් කිව්වේ. 




කොහාම වුනත් අපරාදේ කියන්න බෑ මම තවාන් දාපු වම්බටු ඇට ඔක්කොම වගේ පැල වුනා. එතන පැල 150 ක් විතර තිබුන නිසාත්, මට එච්චර පැල ගොඩකින් වැඩක් නැති නිසාත් මම මගේ යාළු මිත්‍රාදීන්ටත්, තාත්තාටත් පැල ටිකක් දුන්නා. ඉතිරි පැල ටික මම පාත්තියක් සකස් කරලා පැල කලා.
ටික දවසක් යනකොට පැල ටික දලු දාගෙන එනකොට මගේ වගා උණ වැඩි වෙන්න ගත්තා. උදේ හවස ඒ දිහා බලද්දි ලැබෙන මානසික සතුට වචනෙන් විස්තර කරන්න බැරිතරම්. ඒත් වම්බටු පැල වලට වඩා වේගෙන් වල් පැලත් ඒ අතරින් මතුවෙන්න පටන් ගත්තා. ඉතින් මම ගෙවත්තේ ගතකරන්න ලැබෙන සුළු වෙලාවෙන් වැඩි වෙලාවක් මට යොමු වෙන්නේ වුනේ වල් පැල ගලවන වැඩේට.
ඉතින් මට සිද්ධවුනා සතියකට සැරයක් විතර මේ වල් පැල ගලවන වැඩේ කරන්න. ඉතින් මේ වැඩේ හරියන්නේ නැති නිසා මම පොඩි දෙයක් කලා. වත්ත අතුගාලා එකතු කරගන්න කුණු රොඩු ටික මම වම්බටු පැල වටේට අතුරලා දැම්මා. වැඩේ අති සාර්ථකයි. වල්පැල හැදෙන්න ඕන හිරු එළිය කුණු රොඩු නිසා නොලැබෙද්දි වල් මර්ධනය නිකන්ම සිද්ධ වුනා.


ඉතින් බොහොම සතුටින් මගේ වම්බටු පැල ටික වැඩෙන අයුරු උදේ හවස බලා හිටිය මට තවත් කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුනා. ඒ තමයි දළඹුවෝ.

පැල කිහිපයකම දළඹුවෝ පිරිලා, කොළ වලින් වැඩි ප්‍රමාණයක් උන්ගේ ආහාරය බවට පත්වෙලා. දැන් ඉතින් මොකද කරන්නේ කියලා හිතාගන්න බැරිව මම මේකට කරන්න පුළුවන් දෙවල් ගැන හෙව්වා. කෟමිනාශක පාවිච්චියට මම කැමති නැහැ. මොකද මම ගෙවත්ත වගා කරන්න පටන් ගත්තේ වස විස නැති ආහාර බෝග ටිකක් හදාගන්න ඕන නිසයි. ඉතින් ඔහොම දළඹු ප්‍රශ්නයට උත්තරයක් හොයනකොට මට හම්බවුනා ක්‍රමයක්. ඒක තමයි කොහොඹ ඇට තලලා ඒක වම්බටු කොල උඩට ඉසින එක. ඉතින් මම ඒකත් කලාට ඒක ඒ තරම් සාර්ථක වුනේ නැහැ. මේ වගේ දෙවල් වෙනකොට වගා උණ සනීප වෙලා වගා කරන්න තියෙන ආසාවත් නැතිවෙන්න පුළුවන් වුනත් මම එතනින් නතර නොවී සැහෙන වෙලාවක් මහන්සි වෙලා අත්වැස්මක් දාගෙන වම්බටු කොලෙන් කොලේ පීරලා දළඹුවෝ සේරම අයින් කලා. දෙවෙනි දවසෙත් ගිහින් බැලුවාම මට හම්බවුනේ දළඹුවෝ දෙන්නෙක් විතරයි උන් දෙන්නටත් ෂොට් එක දුන්නා. ඊට පස්සේ දළඹු කරදරෙන් සම්පූර්නයෙන්ම ගැලවෙන්න පුළුවන් වුනා.
වගාවක් කරද්දි ඔය වගේ ප්‍රශ්නවලටත් මුහුන දෙන්න සිද්ධ වෙනවා. ඒත් ඒවා අභියෝගයක් විදියට බාරගෙන ඉස්සරහට යන එක තමයි කලයුත්තේ.

No comments:

Post a Comment

ගොලුබෙලි දඩයම

මම කියන්න හදන්නේ මොකද්ද කියලා මාතෘකාවෙන්ම පැහැදිලි වෙනවනේ. ගෙවතු වගාවක් කරද්දි වැඩේ ලේසි පාසු නැහැ තමයි, මොකද විශේෂයෙන්ම කාබනික වගාවක් ක...